ගම්පහ, මිනුවන්ගොඩ, අංක 10/5, වැල්හේන, මිනුවන්ගොඩ, ලිපිනයේ පදිංවිව සිටි ආර්.ඩී. නවංජන ලක්ශ්‍රී කුමාර රණතුංග පින්වත් කුළ කුමරු මෙළොව එළිය දුටුවේ, ආර්.ඩී. නීල් කුමාර රණතුංග හා පුෂ්පාංජලී රත්නායක දම්පතීන්ට දාව, 2001 නවම් මස 20වන දා ය.
අප ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ නවංජන පුතණුවෝ කුඩා කළ සිට ම, බණට - දහමට, සාසනික චර්යාවට ලැඳි, පින්වත් දරුවකු වුහ. අධ්‍යාපනය ලබන අවධියේ සිට ම අසාධාරණයට එරෙහිව සිය හඬ අවධි කළ මෙපුතණවෝ තුළ, නැගී එන සමාජ නායකත්ව ලක්ෂණ විදහාපෑවේ පාසැල් කාලයේ සිටම ය.
දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ද උසස් ලෙස සමත් වූ, නවංජන පුතණුවෝ, වර්ෂ 2018 දුරුතු මස 21වන දා සිට අප දහම් ගුරුවරයෙකු ලෙස ද නිස්සරණාධ්‍යාශයෙන් කටයුතු කලේ ය.
ඔහු සිය භද්‍ර යෞවන වයසේ දී ම, ජීවිතයේ නිස්සාරබව දැක, උතුම් වූ ප්රවෘජා භූමියට පත් වූයේ, වර්ෂ 2021 මැයි මස 26වන දා (උතුම් වූ වෙසක් පොහෝ දින), නිල්පනාගොඩ ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ දී ය. ඒ විහාරාධිපති අතිපූජනීය ඉදිමින්නේ උත්තමඤාණ හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් වැල්හේනේ නන්දවිමල යන නාමයෙනි.
පෙර සසරේ සිට පැවත එන කළ පුරුද්ද හා දැන පුරුද්ද නිසා ම දෝ පැවිදි වී වසරක් සම්පූර්ණ වූ විට ම, සාමනේර බණ දහම් මැනවින් හදාරා සම්පූර්ණ කළ අපේ නන්දවිමල පොඩි හාමුදුරුවෝ, වර්ෂ 2022 ජූලි මස 05වන දා, සංඝ සමාජයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගනිමින් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබූ හ.
මෙම උපසම්පදා විනය කර්මය පොලොන්නරුව, මනම්පිටිය මහා වාලුකා නදී (මහවැලි ගංගාතොට) උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වණු අතර, එහි ප්‍රධානත්වය දැරුවේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික නිකාය පාර්ශ්වයේ මහා නායක කුරුණෑගල, රිදීගම, රම්බඩගල්ල විද්‍යාසාගර පරිවේණාධ්යක්ෂ ශාස්ත්‍රපති, පණ්ඩිත, එගොඩමුල්ලේ අමරමෝලි මහානායක මාහිමියන් වහන්සේ විසිනි.
අස්වානේ සහෝදර ආචාර්ය මණ්ඩලය සමඟ |
අධිශීල සංඛ්‍යාත උපසම්පදාවෙන් පිදුම් ලබා අද දින නිල්පනාගොඩ ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයට වැඩම කළ ධර්මාචාර්ය වැල්හේනේ නන්දවිමල අපේ හාමුදුරුවෝ නැණ. ගුණ, බලයෙන් සුපෝෂිත ව, සසුනබර එළිය කරන පුන් සඳක් මෙන් බැබලේවා යි !,
අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ ප්‍රධානාචාර්ය, අතිපූජනීය, විනයාචාර්ය ඇහැටුවාගම ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සහෝදර ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සුභාසිංශනය කරමි.
යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න
අස්වාන දහම් පාසල
2022-07-09