"අපේ ලොකු මැඩම් නැතිවෙලා", "නදීක සර්ගේ අම්මා නැතිවෙලා." මේ ගෙවි ගිය දින කීපයේ ම, දහම් පාසල් වට්ස්අප් ගිණුම දෙවනත් කළ හද සසල කර වූ පුවත යි. නමින් වසන්ති කුසුමලතා නම් වූ එතුමිය, කලක් රෝගාතුර ව සිට පසුගිය දා (2023 අගෝස්තු 08වන දා) සඳහට ම ජීවන රඟමඬලින් සමුගත්තී ය.
ඉතින් කවදා යළි අසන්න ද? ඒ දයාබර හඬ, ගුරු මෑණියනි |
වසන්ති කුසුමලතා ගුරු මෑණියෝ |
"සූර්ය කාන්තා" ශෝකය |
සදාදරණීය මාතෘත්වයේ අසහාය ප්‍රතිමූර්තිය |
ගරු නාහිමියෝ අවසන් ගෞරවය දක්වමින් |
වර්ෂ 2012 ජුනි 03වන දා, ආචාර්යවරියක ලෙස අප දහම් පාසලට එක් වූ එතුමිය 2022 වර්ෂය දක්වා ම, දස වසරකට අධික කාලයක්, අප දහම් පාසලේ දෙවන ශ්‍රේණිය භාර ආචාර්යවරිය ලෙස නිස්සරණාධ්‍යාශයෙන් යුතු ව කටයුතු කළා ය. ඉතාමත්ම කරුණාවන්ත හා උණුවන හදවතකින් යුක්ත වූ ඈ, තමන්ගේ ම දරුවන්ට, අපේ දහම් පාසලේ දරුවන්ට ද මෙන් ම දහම් පාසලේ ගුරු දරුවන්ට ද දයාබර මාතාවක වූවා ය. එසේ හෙයින් ම ඕතොමෝ "අපේ ලොකු මැඩම් " ලෙස කාගේත් ආදරයට හා සම්භාවනාවට පත් ව සිටියා ය.
ජීවිතයේ අනේකවිධ දුක් සුසුම් මැද ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිය දිවිසැරිය ගතකළ එතුමිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම, රජුන් තැන වූ දිරිය මාතාවත වූවා ය. නදීක ගුරුතුමා ඇතුළු ව ඇගේ දරුවෝ අද සමාජයේ කීර්තිමත් ස්ථාන වල වැජඹෙන්නෝ, එතුමියගේ අප්‍රතිහත ධෛර්යය නිසාම ය. ප්‍රදේශයේ විවිධ සමිති සමාගම්වල ආරම්භක සාමාජිකාවක වූ ඈ, සමගි සහනසේවා අවමංගල්‍යාධාර සමිතියේ මුදල් කාරක සභිඛාවක මෙන් ම ලේකම්වරිය ලෙස ද කලක් තම ගමට සේවය කළා ය. තවද එතුමිය විහාරමහාදේවී මයිලා සමිතියේ දීර්ඝතම කාලයක් ලේකම් ධූරය හෙඹවූ තැතනත්තිය ද වන්නී ය. එමෙන්ම සූර්ය කාන්තා සංවිධානය, සර්වෝදය ශ්‍රමදාන සමිතිය හා සිතමු ගොවි සංවිධානයේ ද ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස මියයන තුරු ම කටයුතු කළා ය.
හැමවිට ම අනුන්ට උදවු කීරීමට සිත් ඇති ඈ කාගේ හෝ දුක් කරදර, අසනීප වල දී ඇගේ කන-කර පවා උගසට තබා මුදල් දුන් බව අද ද අසල්වැසියෝ කෘතවේදී ව සිහිපත් කරති.
සදාදරණීය මාතෘත්වයේ අසහාය ප්‍රතිමූර්තියක් වූ, අපේ දයාබර "ලොකු මැඩම්" අජරාමර නිවනින් සැනසෙත්වා. ! යි, අතිපූජනීය ඇහැටුවාගම ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේ ඇතුලු ගරු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් හා දහම් පාසලේ සිසු දරු දැරියන් වන අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු.
මාධ්‍ය ඒකකය
අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල
2023-08-10