පාසලක් තැනීම උදාර කටයුත්තක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මහජන මුදලින් ඇරඹි අපේ රජයේ පාසැල්, කතෝලික සභාවේ අරමුදලින් නඩත්තු වන පාසැල්, ජාත්‍යන්තර පාසැල් මෙන් ම, පුද්ගලික පාසැල් ද අපේ රටේ විරල නොවේ.
ආර්.අයි.ටී. අලස් ගුරු පියාණන් |
එහෙත් දානපතියෙකු හෝ කැපී පෙනෙන සමාජ සේවකයක් නොවන, දුප්පත් අහිංසක දොඩම් වෙළෙන්දෙක් ඇරඹූ පාසලක් ගැන ඇසුවොත් ඔබ විශ්මයට පත් වනු නො අනුමාන ය. මේ කථාව ඇසෙන්නේ ලංකාවෙන් නොව ඉන්දියාවෙනි.
මේ අපූරු මිනිසා නමින් හරෙකලා හජබ්බා (Harekala Hajabba) වේ. ඔහු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ වැසියෙකි. කර්ණාටක ප්‍රාන්තයේ මංගලාරු නම් නගරයෙන් කි.මී. 25ක් පමණ ගිය විට හමුවන හරෙකලා නම් ගමට ආසන්නයේ පිහිටි නිව්පප්දු නම් දුෂ්කර ගම්මානය ඔහුගේ නිජබිම යි.
හරෙකලා හජබ්බා |
දිනක් තමන්ගෙන් දොඩම් මිලදී ගන්නට පැමිණි විදේශීය සංචාරකයන් දෙදෙනෙකු ඉංග්‍රීසි බසින් තමන්ගෙන් දොඩම් වල මිල විමසූ විට තමාට පිළිතුරු දී ගත නොහැකි වී එම වෙළඳාම එයින් ම අසාර්ථ වූ බව හජබ්බා පවසයි.
කිසිදා පාසල් ගොස් නො තිබුණු තමාට අධ්‍යාපනයේ වටිනාකම අවබෝධ වුයේ එදා සිදුවීමෙන් ඇතිවූ කම්පනය හා ලැජ්ජාව නිසා බව කියන ඔහු, තමාට අත් වූ ඉරණම යළි කිසිවකුට අත් නොවිය යුතු යැයි සිතා, තම ගමේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට පාසලක් ඉදිකිරීමට තමන් අධිෂ්ඨාන කරගත් බව කියයි.
වර්ෂ 1999 දී හජබ්බාගේ සිහිනය සැබෑවීම ඇරඹුණේ කුඩා මඩුවක ඉදිකළ අවිධිමත් පාසැලකිනි. මුල් ම ශිෂ්‍ය සංඛ්‍යාව සිසුන් 28ක් විය. ක්‍රමයෙන් පිරිස වැඩි වෙත් දී, හජබ්බා "ටින් බෙලෙක්කයට" ඉතිරි කළ මුදලින් ඉඩම් අක්කර භාගයක් පමණ මිල දී ගත්තේ ය. එහි ඔහු සිය පාසලේ ප්‍රථම විධිමත් පාසැල් ගොඩනැගිල්ල ඉදිකළේ, එම දිනවල දොඩම් වෙළඳාමේ නොගොස් තමනුත් ශ්‍රම දායකත්වය ද ලබා දෙමිනි. එම දිනවල පවුල නඩත්තු කලේ ඔහුගේ වැඩිමහල් පුතා විසිනි.
පසුව ඔහු ප්‍රදේශයේ දානපතියන්ගෙන් ද මුදල් සම්මාදම් කරගෙන, පාසල වැඩිදි්‍යුණු කලේ ය.
හරෙකලා හජබ්බා සිය පාසැලේ දරුවන් සමඟ |
හජබ්බා සිය උදාර සිහිනය යථාර්යතක් කරගනිමින් වර්ෂ 2012 ජුනි මස 14 වන දා සිය පාසැල උත්සවාකාරයෙන් රජයට භාර දුන්නේ ය. අද මේ පාසැල හජබ්බා පාසල ලෙස හැඳින්වේ.
ජනපති රාම් නාත් කෝවිඳ් මැතිඳු අතින් පද්ම ශ්‍රී සම්මානය ලබා ගනිමින් |
උදාර පුද්ගලන් බිහිවීමට බලපාන්නේ ධනය, බලය, උගත්කම, සමාජ හෝ ආර්ථික තත්වය නොව, මිනිස් සිතේ උපදින උදාර සිතුවිලි හා නොබසුබස්නා වීර්යය බව හරෙකලා හජබ්බා නිහඬව ම අපට පවසයි. ඔහුගේ මේ කතාව අපේ දරුවන්ට ආදර්ශයක් වේවා !.
(තොරතුරු හා ඡායාරූප අන්ත්ජාලයෙනි)
සටහන
No comments:
Post a Comment