![]() |
පෙරිය උලුක්කුලමේ පේමරතන හාමුදුරුවෝ |
![]() |
වටිනාපහ ශ්‍රී පියරතන ඤාණාලෝකාභිධාන නාහිමිපාණෝ |
බණ දහම් හා ආගමික කටයුතු වලට එහා ගොස් අස්වාන මහ පිරිවෙනේ භෞතික සම්පත් රැක ගැනීමේ කාර්යය සිය කැමැත්තෙන් ම සියතට ගත් උන්වහන්සේ ඒ මහා වගකීමෙන් සිය නායක හිමිවරු, පැවිදි සොහොයුරන් ව, මුදවා ඒ අයට ධර්ම ශාස්ත්‍රීය සේවාවට ම කැපවන්නට අවකාශය සලසා දුන් සේක.
අස්වාන පිරිවෙන් ධර්මායතනයට තිබූ මහත් ලැදියාවට නොදැවෙනි අසීමිත ගුරු ගෞරවයකින් ද උන්වහන්සේ ශෝභමාන වූ සේක.
![]() |
ස්වර්ණාභිමානී 2024 |
මේ අසීමිත ගුරු භක්තිය නිසා ම, උන්වහන්සේ ඤාණාලෝක නාහිමියන්ගේ ප්‍රධාන උපස්ථායක පදවියට පත්වන්නට තරම් වාසනාවන්ත වූ සේක. "උච්චා" (ඤාණාලෝක මාහිමි සිය උපස්ථායක ඇමතූ කෙටි නම ය) යැයි දෙවරක් අමතන්නට උන්වහන්සේ කිසි කලෙකවත් ඉඩ නොතැබූ සේක. ඒ මහා ගුරු ගෞරවය හා කැපවීම අපට බුදුන් දවස අනද හිමි සිහිකරවයි.
![]() |
ස්වර්ණාභිමානී සමරු කලාපය පිළිගන්වන ගරු වැ.බ. ප්‍රධානාචාර්යතුමා |
අස්වාන දහම් පාසලේ උපප්‍රධාන ආචාර්යවරයා ලෙස අනභිබවනීය මෙහෙවරක නිරත වූ උන්වහන්සේ දැඩි විනයක් හා ශික්ෂණයක් දහම් පාසල් දරුවන් අතර පවත්වා ගන්නට වෙහෙසුන සේක. කුමන ගුරුවරයාට අයත් පන්තියක වුව ද කවි හා ගාථා කටපාඩම් ගැනීම සිදුවූයේ උන්වහන්සේ වෙතිනි. සිවුරු පොට අතර නිතර සැඟවී උන්වහන්සේ සමඟ ම ගමන් කළ වේවැලේ රස නොදත් කොල්ලෙකු එකළ නම් සොයා ගැනීම උගහට ය. එකල නුරුස්සන හා වේදනාබර අත්දැකීමක් වුව ද, ඒ මහා මෙහෙවරේ වටිනාකම මම ඇතුලු ව, උන්වහන්සේගෙන් ශිල්ප ඉගෙනගත් සැවොම අද සිහිපත් කරනුයේ අපරිමිත ගුරු බැතියෙනි.
![]() |
බැති පූජා |
වර්ෂ 1999 අගොස්තු මාසය පේමරතන හිමිගේ ගුරු බැතිය වඩාත් ප්‍රකට වූ වකවානුක් විය. ඒ උන්වහන්සේගේ පැවිදි දිවියේ මුදුන් මල්කඩ වූ ඤාණාලෝක නාහිමිපාණෝ ගිලන් වීමය. පුරා සතියකටත් වඩා රෝහල්ගත ව සිටි සිය ගුරුදේවයානන්ට සිය පුද්ගලික සුව පහසුව, දානය ගැනීම පවා අමතක කර ළඟ හිඳිමින් උවටැන් කළෝ උන්වහන්සේ ය.
1999 අගෝස්තු 12වන දා ඤාණාලෝක නාහිමි අපවත්වූ දා උන්වහන්සේ වැළපුනේ අකාලයේ සිය පියා අහිමි වූ ළදරුවකු සේය. ඇසු, ඇසූ ජනහද කම්පා කරවූ ඒ මහා විලාපය දැනුඳු සිහිනෙන් මෙන් මට ඇසේ.
ඤාණාලෝක නාහිමි භාවශේෂෝපගත වීමෙන් පසුව වර්ෂ 2003 දී අස්වාන මහ පිරිවෙන අඳුරු යුගයකට පා තැබුවෙන් උන්වහන්සේ මිනුවන්ගොඩ රජමහා විහාරය ඉදිරි වාසය සඳහා තෝරා ගත් සේක.
![]() |
ගුරු හිමියෝ වත්මන් ආචාර්ය මණ්ඩලයේ සිය ගෝලයන් සමඟ |
පනස්වන සංවත්සරය නිම වූ වහාම උන්වහන්සෙගේ සුව-දුක් විචාරීමට යාම අප ඇදුරු මඩුල්ලේ ප්‍රමුඛතම කාර්යය විය. තෙත් වූ දෙනෙතින් යුතුව සිය ගෝලයන් පිළිගත් උන්වහන්සේ දොළොස් වසරකට පසුව වුව ද බොහෝ දෙනෙකුව හදුනාගෙන අපේ පුද්ගලික නමින් ම අමතා තොරතුරු විචාලේ අප විශ්මයට පත් කරවමිනි.
අද සැත්තෑතුන් වසරක් ආයු වළඳමින් සිටින උන්වහන්සේ තවමත් තම සිසු දරුවන් කෙරෙහි ඔදවැඩී යන ගුරු ස්නේහයෙන් යුක්ක වන්නේ දුටුතැන මේ අපේ කොල්ලො, කෙල්ලෝ යි ඕනෑම අයෙකුට අපව රෙකමදාරු කරන්නේ උතුරායන ස්නේහයෙනි, අභිමානයෙනි.
අස්වාන පිරිවෙන හා දහම් පාසල සිය දිවි දෙවැනි කොට රැක ගනිමින් අපට යහමග පෙන්වූ, උපාධි, පදවි, තානාන්තර නැතත්, අපේ හද පුදසුනේ සදා වැජබෙන මහා ගුරුදේවයාණෙනි !, සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන අපට වඩා කල් ඔබවහන්සේ ජීවත් වේවා!...
යූ. ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න
අස්වාන දහම් පාසල
2025.08.03